Sunday, November 6, 2011

මම හරිද... වැරදිද...


ගොඩක් දවසකින් පස්සෙ තමා ආයෙත් බ්ලොග් එක පැත්තෙ ආවෙ. මේ දවස් වල අපට study leave. මේ මාසෙ 9 final exam පටන් ගන්නවා. මේ ලියන්න හදන්නෙ නම් ඒ ගැන නෙමේ. පහුගිය දවසක හරියටම කිව්වොත් පෙරේදා මම කොළඹ ගියා පොඩි වැඩකට. ආයෙත් ආවෙ ඊයෙ හවස. ගෙදර එන්න කොටුවෙන් බස් එකකට නැගල බෑග් එක සීට් එකකින් තියල බස් එක අද්දනකන් මම ටිකක් එලියෙන් හිටියා. ඔය අතරෙ මම ලඟට අයියා කෙනෙක් ආව. කැෂුවල් කිට් එකක් ඇඳල සයිඩ් බෑග් එකක් දාල අතේ ෆෝන් එකකුත් තිබ්බා. මම මෙයාව අඳුනන්නෙ නම් නෑ. මෙයා මයෙන් අහනවා

           " මල්ලි කැම්පස් එකේද...???  "

මම කැම්පස් තමයි. ඒත් මෙයාව මම අඳුනන්නෙත් නෑ. අපේ කැම්පස් එකේ අයියා කෙනෙක් බවට මතකයකුත් නෑ. අනෙක එයා මාව හොඳින් අඳුනනවා නම් මගේ කාඩ් එකෙන්වත්(කැම්පස් එකේ අනවරථ නම) කථා කරන්න එපැයි. එයාව තේරුම් ගන්න උත්සහ කරන අතරෙ එයා අහපු දේ ඇහුනෙ නැති විදියට මම ආයෙත් ඇහැව්වා

           " මොකක්ද....."

           " මල්ලි කැම්පස් එකේ නේද...???  "

මම අඳුනන්නෙ නැති මෙයා මං කැම්පස් කියල දන්නෙ කොහොමද. මම ඇඳන් හිටියෙත් කැම්පස් ටී ෂර්ට් එකක් නෙමෙයි. මේ මගේ කටින් මං ගැන විස්තර ගන්න හදන එහෙම නැත්තන් මාව කථාවට අල්ල ගන්න හදන පොටක් බව මට තේරුනා. මට එයා ගැන විශ්වාසයක් තිබ්බෙ නැති නිසා මගේ විස්තරත් කෙලින්ම කියන්න ගියේ නෑ. කැම්පස් කිව්වට මොන කැම්පස් එකේද කියල ඇහැව්වෙ නැති නිසා මම ඇහැව්වා

           " කොහේද....."
            
           " කොළඹ හරි... මොරටුවෙ හරි..."

හරි... දැන්නම් හොඳටම ෂුවර් මේනම් මම දන්න කෙනෙක් නෙමේ කියල. මම ඒ කැම්පස් දෙකේම නෙමයි නේ. ඒ වගේම මූ මාව අන්දන්නයි එන්නෙ කියලත් තේරුනා. මගේ කෙටි පිළිතුර උනේ

            "නෑ...නෑ....."

           " ආ... මම හිතුවෙ මල්ලි කැම්පස් කියල. "

"මචං මේකයි සීන් එක. මම අනුරාධපුරෙ ඉඳලයි ආවෙ. මෙහෙදි වාහනේ මිසින් උනා. දැන් එයාල ගිහින්. මචං මට ආයෙත් යන්න සල්ලි නෑ. අතේ පොඩි ගානක් තියෙනවා. ඒක මදි බන්. තව පොඩි ගානක් ඕනි. පුළුවන් නම් මට කීයක් හරි දිපන්කෝ. ඉල්ලන්න නොන්ඩියි මචං ඒකයි මෙහෙම කොල්ලෙක්ට කියන්නෙ."

ඔන්න උගෙ ටෝක් එක. මේක හෙමිහිට අහගෙන ඉඳල මම එයාට කිව්වෙ

           " අනේ මචං මේ වෙලාවෙ නං මම ලඟත් සල්ලි නෑ බන්...." කියල

            "ආ... කමක් නෑ බන් " කියල එයා ගියා

මම රැකියාවක් කරන කෙනෙක් නොවුනත් මුදල් හදල් තියෙන කෙනෙක් නොවුනත් ඇත්තටම එයාට රු.10 ක් හරි දෙන්න පුළුවන්කම තිබ්බා. මම ඒ වෙලාවෙ තිබ්බ තත්ත්වයත් එක්ක එයාව සැක කලාට ඇත්තටම දන්නෙ නෑ එයා හොර තක්කඩියෙක්ද නැත්තම් ඇත්තටම අසරණ වෙච්ච කෙනෙක්ද කියල. මට කොහෙදි හරි දුරකදි පර්ස් එක නැතිවෙලා මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නෙ කියලත් හිතුන.

ඒත්.....

ගොඩක් වෙලාවට මම දැකල නැති විශ්වාස නැති අයට මුදල් වලින් උදව් කරන්න යන්නෙ නෑ. මට පුවවන් කම තිබ්බත් මම කරන්නෙ නෑ. ඒක මගේ පුරුද්දක්. ඒක හරිද වැරදිද හොඳද නරකද කියන්න මම දන්නෙ නෑ. මට විශ්වාස නැති අයට අනුකම්පා කරල මුදල් දෙන්න යන්නෙ නෑ. එයාලව මගඅරින එක තමා කරන්නෙ.

අර පුද්ගලයා සමහරවිට හොරෙක් නම් මම එයාට මුදල් දෙන්න පර්ස් එක ගන්න කොට මගේ පර්ස් එකත් උදුරන් දුවන්න තිබ්බා. එහෙම දෙයක් උනානම් මම මොකද කරන්නේ.

මේ පාඩම් වැඩකටයුතු අතරෙ මේ කතාව ලිව්වෙ ඔයාලටත් මම වගේ ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න කියන්න නෙමේ. මේ සමාජයත් එක්ක ගනුදෙනු කරද්දි ප්‍රවේසම් වෙන්න. වරක් දෙවරක් නොව තෙවරක් සිතන්න. හැමෝවම හැමවෙලේම විශ්වාස කරන්න එපා.

ඇත්තටම මම කල දේ හරිද වැරදිද. එයා ඇත්තටම අසරණ වෙච්චි කෙනෙක් නම් මොනවා කරන්න ඇත්ද. මං බස් එකේ එනගමනුත් හිත හිත ආවෙ ඔය ගැන.