Thursday, July 28, 2011

ආයෙමත් ලෙක්චරස්...

අම්මෝ.......... ඇති යාන්තං...........

ඇයි මොකද උනේ........

ඉවරා......යි.....

හෑ.... පටන් ගත්ත ගමන්ම ඉවරද.....

නෑ...නෑ... මේ කැම්පස් ලෙක්චර්ස්ල කරගෙන ආව වෘත්තීය ක්‍රියාමාර්ගය ඉවරයි කියල කිව්වෙ. ඔන්න ඉතිං ආයෙත් ලෙක්චර් පටන් ගත්තා. පසුගිය මැයි 16 වෙනිදා පලවෙනි සෙමෙස්ටරේ වාර අවසාන නිවාඩුව ලබාදුන්නට පස්සෙ ආයෛත් දෙවන සෙමෙස්ටරේ පටන් ගන්න නියමිතව තිබ්බෙ මැයි 29 වෙනිදා. ඒත් ලෙක්චර්ස්ල පඩි වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පටන් ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඒ දිනය දවසෙන් දවස කල් ගිහින් මාස 2කටත් වැඩි නිවාඩුවකින් පස්සෙ ආයෙත් කැම්පස් පටන් ගත්තෙ මේ ජූලි 27 වෙනිදා. මේක තමා වසර 3ක කැම්පස් ජීවිතේ ලැබුන දිගම නිවාඩුව.

පහුගිය දවස්වල කැම්පස් එකේ යාළුවෙක් කතාකරත් අහන්නෙ ඒ බං කවද්ද කැම්පස් පටන් ගන්නෙ... දැං නම් ගෙදර ඉඳල ඇතිවෙලා බං කියල. මටත් පෙරලා අහන්න තිබ්බෙ ඔය ටිකම තමා ඉතිං...

කැම්පස් පටන් ගත්තත් දැනගන්න ලැබුන හැටියට නම් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නවත්තල තියෙන්නෙ තාවකාලිකවයි. තවත් ඉටු නොකල ඉල්ලීම් කිහිපයක් තියෙනවලු. ඒ වගේම අභ්‍යන්තර ගැටළු කිහිපයකුත් ඇතිවෙලා තියෙන බව ආරංචියි. ඉතිං නැවතත් වැඩ වර්ජනයකට යන සූදානමක් තියෙනව කියලත් දැනගන්න ලැබුනා...

මොනව උනත් අපේ ඩිග්‍රිඑක ගන්න දවස නම් දිනෙන් දින කල් යනව කියල පැහැදිලියි. අද රැකියාවකට ඉල්ලුම් කරද්දි තියෙන්නෙ “….උපාධියක් ඇති වෘත්තීය පලපුරුදද්ද සහිත වයස 18 – 24 අතර අයදුම් කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ... “ කියල.

උපාධිය  ගත්තා කියමුකෝ එතකොට වයස.....?????

Sunday, July 24, 2011

නව යුගය...











බෝ මළුවෙ ඇවිදිද්දි
සිතට ආ මෙත් සිසිල
චෛත්‍ය වටා ඇති
වැලි මළුවෙ ඇවිදිද්දි
දැනුන ඒ සිල් සුවඳ
ලබන්නට පුතණුවනි
නුබට හැකිවෙද සැකයි...
කුරිරු වූ සමාජයෙ
ගුණ දහම් වැනසිලා
සමාජය පිරිහිලා
තන්හාව මිනිස් සිත
වසාගෙන පැතිරිලා
ගෝලීයකරණයට
ලෝකයම යටවෙලා
සියලුදේ සිදුවන්නෙ
මුදලටම යටවෙලා
මතු දිනෙක සිනහවත්
මිලට පමණක් වේවි...
සියල්ලම විකුනමින්
උපයනා ඒ මුදල්
වැයවන්නෙ කුමකටද
රති සැපය විඳගන්න
දුම් වැටිය අරගන්න
තෙල් දැමුනු මස් කන්න
මත් වතුර ටික බොන්න
අතීතයෙ බණපොතේ
චක්කවත්තිසීහනාද
නමින් එන සූත්‍රයෙක
කියලාම තියෙනවලු
අනාගත කාලයක
ගුණ දහම් කියනදේ
අන්තෙටම පිරිහෙනවා
මිනිසාගෙ ආයුසත්
වසර දහයක් වෙනවා
සිතෙනවා ඒ යුගය
දැනටමත් ඇරබිලා
මෙසේ කවි ලියුවාට
බැහැ මේවා නවතන්න
එනමුදුත් ලියනවා
සිතේ දුක නැති වෙන්න... !!!

Wednesday, July 20, 2011

ඇරයුම් ලද නමුත්...!!!

මූණුපොතට ලොග් වෙලා ඒක ඔහේ පැත්තක තියෙද්දි බ්ලොග් අවකාසෙ  තිබුන පිටුවක් බල බල ඉන්න අතරෙදි දැක්කා මූණුපොතට මැසේජ් එකක් ඇවිල්ල තියෙන විත්තිය. චැට් එකට කෙනෙක් ඇවිත්... කොටල තිබුනෙ...

ඉරිසියාකාර හිනාව

මේ මොකක්ද බොලේ මේ... මූණුපොතේ පේජ් එකක්ද... බ්ලොග් පිටුවක්ද... ලින්කුවකුත් නොවන නිසා ඇහැව්වා ඒ ගැන...

මොකක්ද මේ... කොහොමෙයි මේක බලන්නෙ...

ඕක බලන්න බෑ... හු... හු... ඉරිසියාකාර හිනාව...

මේ මොන විකාරයක්ද... මම කෙටුවා මෙහෙම...

ආ... ඕක ගනන් ගන්න එපා. ටික දවසකින් ඉබේම හරියාවි. තාම මේ පසළොස්වක පෝය පහුවුනා විතරනේ. හඳ මෝදු වෙනකොට සමහර අයට ඔහොම වෙනව...

හික්ස්... චැට් එක ඉවරයි... නොකියාම යන්න ගිහින්...

පහුවදා ඔන්ලයින් ඉන්න වෙලාවක මම ඇහැව්ව

දැන් ලෙඩ සනීපෙයි

මෙයා මයෙන් අහනවා  අයියට කවි ලියන්න පුළුවනිද…”

මමත් ඉතිං බැරි දේට බෑ නොකිය කිව්වෙ නැතෑ මෙහෙම...

උත්සහකලොත් කරන්න බැරි දෙයක් නෑ

එහෙනං ලියන්නකෝ කවි… “

හුටා... දැන් ඉතිං ලියපන්කෝ කවි... කවද කාපු ටිංකිරිද මේ...

නම්බුව බේරගන්නත් එපාය... උත්සහ කොර කොර ලිව්වා කවි මට වෙච්චි අකරතැබ්බය ගැනම... මේ මම ලියපු කවි ටික...



ඇරයුම් ලද නමුත් කවි පද                   බඳින්නට
හොඳ කවි කාරයෙකු නෙවි මම කවි       ලොවට
ලද ඇරයුමට පිටුපානට බැරි                       කමට
ආරම්භයක් තබනෙමි මම මේ                  ලෙසට

කවි පද ලියන්නට හැකිදැයි ඇසුවා          මගෙන්
මට නම් ඕවා බැහැ නොකියා ඒ              විගසින්
පණ්ඩිත කම පෙන්වනු වස් ලොවට          ඉතින්
පිළිතුරු දුන්නෙ පැනයට මා මේ             විලසින්

සිතුවොත් ලොවේ කරනට බැරි දේ      නොමැතා
උත්සහවන්තයා සැමවිට ජය                     ලබතා
මේ ඔවදන් කියාදී මට වුන                        විපතා
එහෙනම් අයියෙ ලියපන් සිවු පදය               සිතා

ඉල්ලන් කෑම යයි කීවෙත්                      මේවාය
ඇදගෙන නානවා කීවෙත්                      මේවාය
බැඳගෙන ඉවර නම් උබ ඔය යක්            බෙරය
පලු නොපලා ගහපන් සිතමින්                     පදය

මෙවන් විපත් නම් කාටත් වන්න                එපා
පණ්ඩිත කතා හිතු හිතු සේ කියනු               එපා
පිරිසක් ඉදිරියේ පොර වනු සිතනු              එපා
මෙසිව් පදයන්හි අඩුවක් දකිනු                    එපා

ඇති යාන්තං පැදි සයකට පන                  දුන්නා
නැතිවනු ගිය නම්බුව බේරා                     ගත්තා
නෝන්ඩි නොකා මම මෙතනින් චුත       වන්නා
උත්සහවන්තයා නේදැයි ජය                   ගන්නා

Sunday, July 17, 2011

වෙනස

අපි උදෑසන ඇහැරුන වෙලාවෙ ඉඳල රෑට නින්දට යන වෙලාව වෙනකම් කොයිතරමක් දේවල් අහන්න දකින්න ලැබෙනවද... සමහරු නම් ඉතිං නිදාගෙනත් සුන්දර වගේම භයානක දේවලුත් දකිනවා ඔය හීන වලට පින්සිද්දවෙන්න.

අපේ ආච්චිල සීයල නම් ඇහුවෙ දැක්කෙ ගමේ ගොඩේ දේවල් විතරක් වුනත් අපි නම් ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය වගේ ඒවයෙ පිහිටෙන් රටේ ලෝකෙ දේවලුත් අහනවා දකිනවා නෙව. ඉතිං ඔය අහන දකින දේවල් දිහා ටිකක් හරි තර්කාණුකූලව විමර්ශණාත්මකව බලන්නෙ කීයෙන් කීදෙනාද... 

අද ලෝකෙ ඉන්න සුපිරි විද්‍යාඥයෙකුත් තම මොළයෙන් වැඩ ගන්නවා කියන්නෙ එහි හැකියාවෙන් 10%කටත් අඩු ප්‍රමාණයක්ලු. ඉතිං මොළය තියෙන ඔලුගෙඩිය පුළුං කොට්ටයක් උඩ තියාගෙන දවසෙන් බාගෙකටත් වඩා නිදිය ගන්න අපේ පංගුව හිතාගත්ත හැකි නේද...

මොලය ටිකක් වෙහෙසවල ලොකය දිහා අහන දකින දේවල් දිහා තර්කාණුකූලව බලන්න පුරුදු වුනොත් ඇත්ත ඇතිසැටියෙන්ම දකින්න පුළුවන් වෙනවා.

බලන්නකෝ මේ පින්තූර ටික දිහා ඔයාල දැක්ක දේවල්මද මමත් දැකල තියෙන්නෙ කියල.....

මේකෙ කළුපාට බෝල කීයක් තියෙනවද...???
ඇත්තටම ඕකෙ කළු බෝල නෑ... තියන ඔක්කොම බෝල ටික සුදුයි...

මේ මල් දෙකේ මැද තියන සුදු බෝල වලින් ලොකුම එක තියෙන්නෙ වම් පැත්තෙ මලේද... දකුණු පැත්තෙ මලේද...
මට නම් පේන්නෙ මල් දෙකේම මැද තියෙන සුදු බෝල සමානයි කියල... බොරු නෙමේ මැනලම බලන්නකෝ...

ආ ඔන්න මේකෙ නම් තියෙන්නෙ අළු පාට බොඳ වෙච්චි රවුමක් ඇතුලෙ තියෙන කළු පාට පුංචි රවුමක්නේ...
ඒ ඔයා දැක්ක දේ නේද... මම ඕකෙ කළු පාට රවුම දිහා ටික වෙලාවක් බලන් හිටියා... ඈ... කෝ මේ අළු පාට රවුම...

මේකෙ ඔය පතුලෙම තියන රේඛාවට සමාන්තර වූ තවත් තිරස් රේඛා කීයක් තියනවද...
ඔක්කොම තිරස් රේඛා ඒකට සමාන්තරයි කියලයි මට නම් පේන්නෙ...

ඉතිං බලන විදිය අනුව දකින දේවල වෙනසකුත් තියෙනවා නේද... ඔයාලගෙ අදහස් කියල කොමෙන්ටුවකුත් කොටලම ගියාට අමනාපයක් නෑ ඕන්...


Wednesday, July 13, 2011

Bio Printing

බයෝ ප්‍රින්ටින් කටයුතු අත්හදාබලන පර්යේෂකයෙක්


උදෑසනම රෝහල වෙත රැගෙන ආවේ දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා සිටි පුත්ගලයෙකි. හදිසි ප්‍රතිකාර සඳහා සිටි වෛද්‍යවරයා වහාම ඔහුව ශල්‍යාගාරය තුලට ඇතුලු කරන ලදී.


එදින සවසම එම පුද්ගලයා සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටත්ව ගිය අතර ඔහුට බීමට හෝ ආලේප කිරීමට කිසිදු බෙහෙත් වර්ගයක් නොලැබුණි. ශරීරයේ කිසිදු පිලිස්සුම් කැලලක්ද නැත. වෛද්‍යවරයා පවසා සිටියේ ශරීරයේ යම් අසාමාන්‍යතාවයක් ඇතිවුවහොත් පමණක් නැවත රෝහලට වාර්තා කරන ලෙසටය.


මෙය තවත් එක් සුරන්ගනා කතාවකින් උපුටාගත් කොටසක්ද...??? 

නැත...

තවත් වසර 20කින් පමණ අනාගතයේ රෝහලක සිදුවිය හැකි සත්‍ය සිද්දි දාමයකි. තාක්ෂණයේ දියුණුවෙන් ලබාගත් ප්‍රතිඵලයකි.

අප සාමාන්‍යයෙන් භාවිතා කරන ink jet printer වල භාවිතා කරන තාක්ෂණය වන්නේ ink cartridge එකේ ඇති තීන්ත කඩදාසියක් මතට විදීමට සලස්වා පරිඝණකය ලබාදෙන උපදෙස් අනුව අවශ්‍ය රූපය මුද්‍රණය කිරිමයි.   

මේ අනුව යමින් කඩදාසිය වෙනුවට සමත් තීන්ත වෙනුවට සෛලත් යොදාගෙන ත්‍රිමාණ මුද්‍රණ සිදුකල හැකි නම් එමගින් මිනිස් අවයව නිර්මාණය කල හැකිය. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම තාක්ෂණය හදුන්වන්නේ Bio Printing කියාය.

මෙහිදී පිලිස්සුම් තුවාල සහිත පුද්ගලයා සම්පූර්ණ ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තුවාල වල ස්වභාවය ගැබුර ආදී දත්ත විශේෂිත පරිඝණක වැඩසටහනක් මගින් ලබාගනී. දැන් එක් එක් ස්ථානයනට අවශ්‍ය සෛල තෝරාගනිමින් Bio Printer එකක් ආධාරයෙන් තුවාල මත අලුත් සමක් මුද්‍රණය කරනු ලබයි. ඉදින් තවත් අලුත් සෛල වැඩෙනතුරු වත් අලුත් සමක් හැදෙනතුරු වත් බලා සිටිය යුතු නැත.ලප කැලැල් ගැන කරදර විය යුතු නැත. සීරීම්, කැපීම්, පිලිස්සුම් තුවාල මත අලුත් සමක් මුද්‍රණය කරගත්තාම තුවාලය සනීපය. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම තාක්ෂණයන් මිනිසා අතරට පැමිනෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.


Bio Printing තාක්ෂණයෙන් මිනිස් ජීවිත තුල ඇතිකල හැකි බලපෑම් ගැන පැහැදිලි කිරීමට තවම කල් වේලා වැඩිය. නමුත් සොබාදහමේ ධර්මතාවයනට එපිටින් නම් මිනිසාට යා නොහැකි බව ස්ථිරය. සොබාදහම් මාතාවගේ අපූර්වතම නිර්මාණයන් වන මව්කිරි හා රැධිරය තවමත් කෘතිමව නිපදවිය නොහැකිවීමෙන්ම ඒ බව පැහැදිලිය.

තොරතුරු ගත්තෙ :- විජය පරිඝණක සඟරාව 2011 ජූලි කලාපය Bio Printing ලිපිය



Monday, July 11, 2011

Google දෙයියා


අන්තර්ජාලය භාවිතා කොරන අයගෙන් Google කියන වචනෙ අහපු නැති කෙනෙක් වගේම googleහි විවිධ සේවාවන් භාවිතා නොකරපු අයෙක් හොයාගන්නව නම් බොරු...... ඒ තරමටම ඔය වචනෙ අපට සමීපයි. ඉතිං මේ Google ලබාදෙන ප්‍රධානතම සේවාව තමයි Google Search Engine එක. අපි අන්තර්ජාලයෙදි නොදන්නා හැම දෙයක්ම හොයාගන්නෙ ඉතිං ඕකෙ පිහිටෙන් නෙව. Google mail හෙවත් gmail සේවය, photo බලන්නත් manage කරන්නත් පුලුවන් google picasa සහ google chrome කියන web browser එකත් google දෙයියො දෙන සේවාවන් තමයි. අනික මේ හැම එකක්ම දෙන්නෙත් හොඳම මිලට හෙවත් සම්පූරණයෙන්ම නොමිලයේ නෙව. 

ඉතිං මේ අතරට අලුතෙන්ම ආව සේවය තමයි Google+ කියන්නෙ. ඒක ඔය මූණුපොත වගේ සමාජ ජාල වෙබ් අඩවියක්. තාමත් මේකෙ beta version එකක් නැත්නම් අත්හදාබැලීමේ සංස්කරණයක් පමනයි නිකුත් කොරල තියෙන්නෙ. ඉතිං තාම ඕකට සම්බන්ධවෙන්න පුලුවන් ඒකෙ දැනටමත් ඉන්න කෙනෙක් එවන invitation එකකින් විතරයි.

ඉතිං මාත් ඕකෙ account එකක් හදා ගත්තා. බලන්නකෝ ඔය screen shot ටික G+ හොඳයිද කියලා..... 

මේ G+ වලට join උන ගමන්

ඔය මම දාපු පලවෙනි post එක


මේ එක publish උනාට පස්සෙ ගත්ත එකක්

මේක ඔය මූණුපොතේ wall එක වගේ තැනක්

මේ තියෙන්නෙ profile විස්තර

ඉතිං ඔයාලගෙ අදහස් කියල කොමෙන්ටුවකුත් කොටලම ගියානම් නේද හොඳ.....



Sunday, July 10, 2011

අධ්‍යාපනය නිදහස් කිරීම



ඉදිරියේදී මෙරට සරසවි අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 5%ක ප්‍රතිශතයක් විදේශ සිසුන් ඇතුලත් කර ගැනීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.මෙය පෙර පැවති 0.5% අගය 5% දක්වා වැඩිකිරීමකි. ලංකාවේ වසරකට උසස් පෙළ සමත්වී විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන 120,000 කට අධික සිසුන් අතරින් විශ්වවිද්‍යාල සඳහා බඳවාගනුයේ 22,000 ආසන්න ඉතා සිමිත පිරිසකි. ඉන් 5%ක් හෙවත් 1000 කට මඳක් වැඩි පිරිසක් විදේශ සිසුන් ඇතුලත් කිරිමට තීරණය කරද්දී විශ්වවිද්‍යාල තුල පවතින භෞතික සම්පත් එනම් දේශන ශාලා,ප්‍රායෝගික විද්‍යාගාර හා නේවාසික ආදී පහසුකම් වැඩිකිරිමට කිසිඳු පියවරක් ගෙන නොමැත.

එක් එක් පාඨමාලා සඳහා වැඩිපුර සිසුන් බඳවා ගැනීමට පහසුකම් නොමැති නම් කරන්නට සිදුවන්නේ ඒවා සඳහා සුදුසුකම් ලබන දේශිය සිසුන් යම් ප්‍රමාණයක් අඩුකර ඒ වෙනුවට විදේශ සිසුන් බඳවාගැනිමයි. එම සිසුන් හට වෛද්‍ය,ඉන්ජිනේරු සහ කලමනාකරණ උපාධි විවිධ මිල ගනන් යටතේ අලවි කිරීමට දැන් සියල්ල සූදානම් වී හමාරය.

                     වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 65
                     ඉන්ජිනේරු උපාධිය  රුපියල් ලක්ෂ 35
                     කලමනාකරණ උපාධිය රුපියල් ලක්ෂ 17 

ඉදින් මේ අලවිකරන්නේ ලාංකීය දූ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය නොවේද.....?????

විදේශිය සිසුන් මෙරට විශ්වවිද්‍යාල වලට බඳවාගනුයේ මෙරට සරසවි ජාත්‍යන්තර තලයට ගෙන ඒමට යයි බලධාරීහු කියති. එසේනම් ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර තලයට ගෙන ඒමට කල යුතු වන්නේ මෙරට ඉඩම් සුද්දන්ට ව්කුණා ඔවුන් මෙරට පදිංචි කරවීමය.

ජාත්‍යන්තර තලයේ රැකියා ඉලක්ක කරගෙන මෙරට සරසවි වල පාඨමාලා වල ගුනාත්මක බව  ඉහල නංවා  ප්‍රායෝගික අංශයට යොමු වෙමින් ඒ සඳහා අවස්ථා වැඩිකරමින් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම ආදී මේ දේවල් සිදු නොකර විදේශීය සිසුන්ට අධ්‍යාපනය විකිණිමෙන් සරසවි ජාත්‍යන්තර තලයට ගෙන ආ හැකියයි බලධාරීන් සිතන්නේද...!!! ඔවුනට අවශ්‍ය ජනතාව ගොනාට අන්දවා මුදල් සෙවීම මිස වෙන කිමෙක්ද...!!!

මෙරට ශිෂ්‍යයෙකුහට ලබා දෙන අධ්‍යාපනය අනාගත ආයෝජනයක්ද වන්නේය. විදේශීය සිසුන් මෙරටට සේවයක් කරාවිද...!!! ඔවුනගේ මවු රටට සේවය කරාවිද...!!!

දියුණු රටවල නම් ඕනෑම අයකුට මුදල් ගෙවා අධ්‍යාපනය හැදෑරිය හැකිය. එම රටවල සියලු පහසුකම් ඕනෑවටත් වඩා වැඩියෙන් පවතී. නමුත් මෙරට වසරකට උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල වෙත සුදුසුකම් ලබන 120,000කට අධික සිසුන්ගෙන් 50%ක් වත් විශ්වවිද්‍යාල වෙත ඇතුලත් කර ගැනීමට ඒවායේ පහසුකම් නොමැති කොට ඇතුලත් කරගන්නා ප්‍රමාණයද කප්පාදු කරමින් අධ්‍යාපනය විකුණාගෙන කමින් බලධාරීන් මේ සැරසෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මලගමට මිස වෙන කුමකටද.....!!!!!

මුල් පිටුව

මුතූගේ සටහන් බ්ලොග් අඩවියට පැමිණි ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා ඕන්..... ඉතින් මෙච්චර කල් කොලේ ඔය බ්ලොග් අවකාසෙ තියෙන එක එක බ්ලොග් අඩවි කියවන එක විතරයි. බ්ලොග් එකක් ලියන්න අදහසක් තිබුනත් ඒකට ආරම්භයක් ගත්තේ අද තමා.....

බ්ලොග් කියවී‍මෙන් ලබපු දැනුම නම් බෝහෝමයි...විශේෂයෙන් ඔය පරිඝණක තාක්ෂණය සම්බන්ද ලිපි සහ එක එක software කෑලි ගැන ලියවුන ලිපි වලින්...

ඉතිං හා හා පුරා කියලා බ්ලොග් එකක් කියවන්න පටන්ගත්තෙ නම් අපේ කැම්පස් එකේ වකා අයියා ලියන සිරකරුවා කියන බ්ලොග් එකෙන් තමයි.තව ඔය මාරයාගේ හෝරාව කියන බ්ලොග් එකත් නිතරම වගේ බලනවා.තවගොඩාක් එව්වා තියෙනවා නම් වශයෙන් මතක නැති උනත්...


ඉතින් මගේ අදහස් සිතුම් පැතුම් දැනුම විනෝදය ඔයාල එක්ක බෙදාගන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා...

හැමෝටම තෑන්කූ වේවා.... !!!!