Sunday, November 6, 2011

මම හරිද... වැරදිද...


ගොඩක් දවසකින් පස්සෙ තමා ආයෙත් බ්ලොග් එක පැත්තෙ ආවෙ. මේ දවස් වල අපට study leave. මේ මාසෙ 9 final exam පටන් ගන්නවා. මේ ලියන්න හදන්නෙ නම් ඒ ගැන නෙමේ. පහුගිය දවසක හරියටම කිව්වොත් පෙරේදා මම කොළඹ ගියා පොඩි වැඩකට. ආයෙත් ආවෙ ඊයෙ හවස. ගෙදර එන්න කොටුවෙන් බස් එකකට නැගල බෑග් එක සීට් එකකින් තියල බස් එක අද්දනකන් මම ටිකක් එලියෙන් හිටියා. ඔය අතරෙ මම ලඟට අයියා කෙනෙක් ආව. කැෂුවල් කිට් එකක් ඇඳල සයිඩ් බෑග් එකක් දාල අතේ ෆෝන් එකකුත් තිබ්බා. මම මෙයාව අඳුනන්නෙ නම් නෑ. මෙයා මයෙන් අහනවා

           " මල්ලි කැම්පස් එකේද...???  "

මම කැම්පස් තමයි. ඒත් මෙයාව මම අඳුනන්නෙත් නෑ. අපේ කැම්පස් එකේ අයියා කෙනෙක් බවට මතකයකුත් නෑ. අනෙක එයා මාව හොඳින් අඳුනනවා නම් මගේ කාඩ් එකෙන්වත්(කැම්පස් එකේ අනවරථ නම) කථා කරන්න එපැයි. එයාව තේරුම් ගන්න උත්සහ කරන අතරෙ එයා අහපු දේ ඇහුනෙ නැති විදියට මම ආයෙත් ඇහැව්වා

           " මොකක්ද....."

           " මල්ලි කැම්පස් එකේ නේද...???  "

මම අඳුනන්නෙ නැති මෙයා මං කැම්පස් කියල දන්නෙ කොහොමද. මම ඇඳන් හිටියෙත් කැම්පස් ටී ෂර්ට් එකක් නෙමෙයි. මේ මගේ කටින් මං ගැන විස්තර ගන්න හදන එහෙම නැත්තන් මාව කථාවට අල්ල ගන්න හදන පොටක් බව මට තේරුනා. මට එයා ගැන විශ්වාසයක් තිබ්බෙ නැති නිසා මගේ විස්තරත් කෙලින්ම කියන්න ගියේ නෑ. කැම්පස් කිව්වට මොන කැම්පස් එකේද කියල ඇහැව්වෙ නැති නිසා මම ඇහැව්වා

           " කොහේද....."
            
           " කොළඹ හරි... මොරටුවෙ හරි..."

හරි... දැන්නම් හොඳටම ෂුවර් මේනම් මම දන්න කෙනෙක් නෙමේ කියල. මම ඒ කැම්පස් දෙකේම නෙමයි නේ. ඒ වගේම මූ මාව අන්දන්නයි එන්නෙ කියලත් තේරුනා. මගේ කෙටි පිළිතුර උනේ

            "නෑ...නෑ....."

           " ආ... මම හිතුවෙ මල්ලි කැම්පස් කියල. "

"මචං මේකයි සීන් එක. මම අනුරාධපුරෙ ඉඳලයි ආවෙ. මෙහෙදි වාහනේ මිසින් උනා. දැන් එයාල ගිහින්. මචං මට ආයෙත් යන්න සල්ලි නෑ. අතේ පොඩි ගානක් තියෙනවා. ඒක මදි බන්. තව පොඩි ගානක් ඕනි. පුළුවන් නම් මට කීයක් හරි දිපන්කෝ. ඉල්ලන්න නොන්ඩියි මචං ඒකයි මෙහෙම කොල්ලෙක්ට කියන්නෙ."

ඔන්න උගෙ ටෝක් එක. මේක හෙමිහිට අහගෙන ඉඳල මම එයාට කිව්වෙ

           " අනේ මචං මේ වෙලාවෙ නං මම ලඟත් සල්ලි නෑ බන්...." කියල

            "ආ... කමක් නෑ බන් " කියල එයා ගියා

මම රැකියාවක් කරන කෙනෙක් නොවුනත් මුදල් හදල් තියෙන කෙනෙක් නොවුනත් ඇත්තටම එයාට රු.10 ක් හරි දෙන්න පුළුවන්කම තිබ්බා. මම ඒ වෙලාවෙ තිබ්බ තත්ත්වයත් එක්ක එයාව සැක කලාට ඇත්තටම දන්නෙ නෑ එයා හොර තක්කඩියෙක්ද නැත්තම් ඇත්තටම අසරණ වෙච්ච කෙනෙක්ද කියල. මට කොහෙදි හරි දුරකදි පර්ස් එක නැතිවෙලා මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නෙ කියලත් හිතුන.

ඒත්.....

ගොඩක් වෙලාවට මම දැකල නැති විශ්වාස නැති අයට මුදල් වලින් උදව් කරන්න යන්නෙ නෑ. මට පුවවන් කම තිබ්බත් මම කරන්නෙ නෑ. ඒක මගේ පුරුද්දක්. ඒක හරිද වැරදිද හොඳද නරකද කියන්න මම දන්නෙ නෑ. මට විශ්වාස නැති අයට අනුකම්පා කරල මුදල් දෙන්න යන්නෙ නෑ. එයාලව මගඅරින එක තමා කරන්නෙ.

අර පුද්ගලයා සමහරවිට හොරෙක් නම් මම එයාට මුදල් දෙන්න පර්ස් එක ගන්න කොට මගේ පර්ස් එකත් උදුරන් දුවන්න තිබ්බා. එහෙම දෙයක් උනානම් මම මොකද කරන්නේ.

මේ පාඩම් වැඩකටයුතු අතරෙ මේ කතාව ලිව්වෙ ඔයාලටත් මම වගේ ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න කියන්න නෙමේ. මේ සමාජයත් එක්ක ගනුදෙනු කරද්දි ප්‍රවේසම් වෙන්න. වරක් දෙවරක් නොව තෙවරක් සිතන්න. හැමෝවම හැමවෙලේම විශ්වාස කරන්න එපා.

ඇත්තටම මම කල දේ හරිද වැරදිද. එයා ඇත්තටම අසරණ වෙච්චි කෙනෙක් නම් මොනවා කරන්න ඇත්ද. මං බස් එකේ එනගමනුත් හිත හිත ආවෙ ඔය ගැන.


Thursday, September 29, 2011

අවසරයි සමුදෙන්න.....


ඔව් ඒ හරියටම 2008 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 24 වෙනිදා.  ජීවන ගමන් මගේ අමතක නොවන මතක වලින් පිරුණු කාලපරිච්ඡේදයක පළවෙනිම දවස..... ඒ කිව්වෙ මම හා හා පුරා කියල කැම්පස් ආව දවස.

විශ්වවිද්‍යාල වරම් හිමිවුනේ තෙවන වතාවෙ උසස් පෙළ ප්‍රතිඵල වලින්. පළමු වරත් දෙවන වරත් ප්‍රතිඵල ගැන නම් කථා කරල වැඩක් නෑ. මොකද ඒ දෙකේම ප්‍රතිඵල වලින් කැම්පස් යනව තියා කැම්පස් යාමේ මූලික සුදුසුකම්වත් සපුරගන්න බැරිවුන නිසා. ඒ කිව්වෙ ඉතිං ඒ දෙකම අසමත් කියන එක තමයි. ඒත් තුන්වෙනි පාර නැත්නම් ලාස්ට් චාන්ස් එකෙන් විභාගෙත් ගොඩදාගෙන කැම්පස් යන්නත්  මම  වාසනාවන්ත උනා. මාව තේරුනේ සිරිලංකාවෙ දකුණු කොනේම සුන්දර පරිසරයක පිහිටි විශ්වවිද්‍යාලයකට.

දින, සති, මාස, අවුරුදු ගතවෙලා ගිහින් කැම්පස් එකෙන් සමුගන්න දවසත් අත ලඟටම ඇවිදිල්ල. ඒක හොඳටම දැනුනෙ අපේ සමුගැනීමේ සාදයේ සිංහලෙන් කියනවනම් farewell එකේ ඉන්විටේශන් එක මගේ අතට ලැබුන වෙලාවෙ. මේ සති අන්තයේ අපේ සමුගැනීමේ සාදය පැවැත් වෙනවා.

එතින් අවසරයි සමුදෙන්න..... සරසවි දිවියටත්


Sunday, September 25, 2011

විරාමයට තිත

ලොකු විරාමයකින් පස්සෙ තමා මේ සටහනක් තියන්නෙ. දැන් මාසෙකින් විතර මොකුත්ම කොටන්න වෙලාවක් ලැබුනෙ නෑ. මේකෙ මොකුත් කෙටුවෙ නැත්තෙ මේක එපාවෙලා එහෙමනම් නෙමෙයි ඕන්. ඒ විතරක්යැ මන් පහුගිය ටිකේ දිගටම වගේ කියවගෙන ආව බ්ලොග් අඩවි කිහිපයක් බලන එකත් මග ඇරුනා. ජන්ජාලෙ සැරිසරන්න තිබ්බ මගේ නිදහස් කාලය ගිලගත්ත බහිරවයා වුනේ මේ අවුරුද්දෙ කර මත වැටිල තියෙන ප්‍රොජෙක්ට් එකක්. ඩිග්‍රි එක ගන්න නම් මේ ප්‍රොජෙක්ට් එකත් අනිවාර්යෙන්ම කොම්ප්ලීට් කොරල බාර දෙන්න ඕනි. නැත්නම් අනෙක් සබ්ජෙක්ට් ඔක්කොම ගොඩ ගියත් ඩිග්‍රිය දෙන්නෑ.

මම ඇතුලු අපේ කන්ඩායමට ලැබුන මාත්තුරුකාව තමා temporary staff එකකට recruitment management system එකක් ඩිවලොප් කරන එක. ඉතින් මේ දවස් වල ජීවිතේ ගෙවෙන්නෙ php, html, mysql, java script, css මෙන්න මේ වගේ දේවල් එක්කම තමා.

මේකෙ සමහර දේවල් කරද්දි අපි පසුගිය වසර වල ඉගන ගත්ත දේවලුත් ඕනැ වෙනවා. ඔන්න ඕක තමයි දිරවන්නෙ නැත්තෙ. ඇයි බොලව් දැන් කාටද ඕවා මතක තියෙන්නෙ. අපි ඔව්වා හැමදාම කටපාඩම් කොරන එකක්යැ exam එකකට ඇරුනම. දැන් බලපල්ල කෝ පරන නෝට්ස්නුත් ආයෙම. කොහොමහරි දැන් නම් මේ ප්‍රොජෙක්ට් එකේ කටයුතුත් තරමක් දුරට කොරල අහවරයි. ඉතිං හිත ටිකක් නිදහස් දැන්.

මේක කොරන අතරෙ සිද්ද වෙච්චි පුංචි පුංචි අකරතැබ්බත් නැතිවම නොවෙයි. මම භාවිතා කොරන Dreamweaver CS5 ඇක්ටිවේට් කොරල තියෙන්නෙ අතිශයින්ම නීත්‍යානුකූල විදියට නෙව. ඉතිං බැරිවෙලා හරි මේකත් ඕපන් කරන් නෙට් කනෙක්ට් උනොත් මගේ කී එක හොරකම් කොරගන්නවා. එතකොට අළුත් කී එකක් හොයන් ආයෙම ඇක්ටිවේට් කොරගන්න වෙනවා. මට අමතක වෙලා දෙපාරක්ම ඔය වැඩේ උනානේ.

ඕන් ඉතිං පහුගිය ටිකේ මොකුත්ම ලියල නෑ කියල මා එක්ක අමනාප වෙනව එහෙම නෙමෙයි.

Sunday, August 14, 2011

මා හැර ගිය ඔබ...


මා හැර ගිය ඔබ.... හ්ම්ම්ම්..... බූට් පාරක් නේද... යාළුවා...

නෑ... නෑ... කෙනෙක් මාව දාල ගියා තමයි... ඒත් බූට් පාරක් නම් නෙමේ.....

අද මගේ හිතට තරමක දුකක් දැනුන දවසක්... මේ දුක ඇතිවුනේ හවස් ජාමෙ ටවුන් ගොහින් සැලුන් එකකට ගොඩවෙලා කොන්ඩෙ කපන්න කියල ඉඳගත්ත වෙලාවෙ...

ඇයි ඔයැයිට දුක... කොල්ලෙක් කොන්ඩෙ කපන්න දුක් වෙන්නෙ මක්කටෙයි...

දැන් ඉතිං මේ සටහන කියවන යාළුවන්ට මේ විදියට හිතෙන්නත් බැරි නෑ නේද...

ඒක ඇත්ත... කොන්ඩෙ කපන එක නම් දුකක් නෙමේ. මේ අවුරුදු විසි ගණනට කොන්ඩෙ කපන්න ඕනැතරම් වාර ගණනක් සැලුන් වලට රිංගල ඇති. ඒ කිසිම දවසක කිසිම වෙලාවක හිතට දුකක්වත් සතුටක්වත් කිසිම විශේෂ හැඟිමක්වත් ඇතිවුන බවක් මගේ මතකයේ නම් නෑ...

ඉතින් අද මොකෑ දුක් වෙන්නෙ...

ඒ අද මම කැපුවෙ වෙනද වගේ සාමාන්‍ය කොන්ඩයක් නොවන හින්ද... දැනට වසරකට වඩා කාලයක ඉඳල ආදරයෙන් රැක ගත්ත බෙල්ලෙනුත් පහලට යනකන් වැවිල තිබුන අඟල් 9ක් විතර දිග කෙස් කලබ තමා ඒ කපල දැම්මෙ... ඉතිං මෙච්චර දවසක් මුහුණට අමුතු අලංකාරයක්  ( යාළුවො කියන විදියට නම් විකාර පෙනුමක් ) ගෙනාපු ඒ දිග කෙස් රැලි දැන් මාත් එක්ක නෑ. ඉතිං මේ කෙස් රැලි එකින් එක විදුලි මැසිමෙන් බිම දමද්දි තමා හිතට දුකක් ඇතිවුනේ...

එදා කොන්ඩෙ වවන්න ගත්ත තීරණයට වගේම අද කොන්ඩෙ කපන්න ඕනි කියල ගත්ත තීරණයටත් කිසිම සුවිශේෂී හේතුවක් නම් තිබ්බෙ නෑ. හිතේ ආසාවට වැව්වා වගේම කවදහරි කපන්න වෙන නිසා කපල දැම්මා. එදා හිතාන හිටි දෙයක් තමා කවදහරි කොන්ඩෙ කපද්දි සම්පූර්ණයෙන්ම කොන්ඩය කපනවා කියල. ඒ කිව්වෙ අර තට්ටෙ ගානවා කියන්නෙ අන්න ඒ වගේ...අද කොන්ඩෙ කැපුවෙත් ඒ විදියටම තමා...

පසුගිය මාස කිහිපය පුරා මට කැම්පස් එකේදි ආමන්ත්‍රණය කොරන කාඩ් එකට අමතරව තවත් අන්වර්ත නාමයන් කීපයකුත් පටබැඳි තිබුණ. ඒවා තමා සායි” , “කපුටු කූඩුව ..............  දැන් ඉතිං මොනා කියයිද දන්නෑ...

Tuesday, August 9, 2011

සිතෙහි කලබලයක්...


නිතරම යන එන සුපුරුදු මාවත
සැතපුම් ගණනක් දිගු වූවත්
ගමනාන්තයට මෙතරම් දුර ඇත
මෙතරම් කාලය ගත විය හැකි වෙත
මනසේ නිතරම රැඳිලයි ඇත්තේ
සිත නෑ ඒ ගැන කලබලයක්.....
පෙරදින මා ගිය නුපුරුදු මාවත.....
විටෙක දෑස යයි ඔරලෝසුව වෙත
විටෙක දෑස යයි වටපිටාව වෙත
ගමනට ගතවන කාලය ගනිමින
සිටිනා ඉසව්ව හදුනා ගනිමින
තේරුම් ගන්නට තවමත් බෑ මට
සිත ඇයි මෙතරම් කලබලයක්.....

Friday, August 5, 2011

ඒ මචං මේකටත් දාමුද...

ලිනක්ස් ගැන ඔයාල අහල ඇති නේද... ලිනක්ස් කියන්නෙ වින්ඩෝස් වගේම මෙහෙයුම් පද්ධතියක් හැබැයි ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ අරගන්න පුලුවන් ඕපන්සෝස් වර්ගයේ එකක්... ubuntu, fedora, redhat, suse කියන්නෙ ඔය ලිනක්ස් වල තියෙන මෙහෙයුම් පද්ධති වර්ග කිහිපයක් තමා. අපට පරිඝණක විද්‍යාවෙ සමහර විෂය ඒකක වල පැට්‍රිකල් කොරන්න තියෙන්නෙ ෆෙඩෝරා භාවිතා කරලයි. පහුගිය දවසක මම අපේ යාළුවෙක්ගෙ ලැප් එකකට ෆෙඩෝරා ඉන්ස්ටෝල් කලා. ඒ අතරෙ මතක්වුන කතාවක් තමා මේ... මේක  සිද්ධඋනේ අපි පළමු වසරෙ ඉන්න කාලෙ...

ඔන්න අපේ ඉස්සා කියල එකෙක් හඳයා කියල එකෙකුට ආරාධනාවක් කොලා...

ඒ මචං හඳයො... මේ සිකුරාදට වරෙන්කො අපෙ දිහා... මගෙ මැසිමට ෆෙඩෝරා දාගන්නත් තියෙනවා

ඕං මතක ඇතුව උබේ ෆෙඩෝරා DVD එකත් අරන් වරෙන් ඈ......

ආරාධනාව පිලිගත්ත හඳයා තවත් යාළුවො දෙන්නෙකුත් එක්ක සිකුරාදා හවස් ජාමෙ ඉස්සලගෙ ගෙවල් බලා පිටත්වුනාලු. පැයක විතර ගමනකින් පස්සෙ ගෙදරට ලගාවෙච්චි මේ කට්ටිය ආගන්තුක සත්කාර වලින් පස්සෙ මේ සුන්දර ගමේ ටිකක් ඇවිදිමු කියල යෝජනා කොලා...

ඉතිං ඉස්සා කට්ටියව එක්කරන් ගියේ වෙල් යායක් මැදින් යන්න තිබුන උගෙ යාළුවෙක්ගෙ ගෙදරකට...එහෙදි ඉස්සගෙ ගමේ යාළුවො කිහිපදෙනෙක්ම අදුනගන්න හඳයාට අවස්ථාව ලැබුන.

ඔන්න ඉතිං මේ සතුට සමරන්න කියල කට්ටිය සැට් වෙන්නත් යෝජනාවක් ගෙනාවලු... ජයටම සප්පායම් උන  හඳයා ඇතුලු කට්ටිය ආයෙ ඉස්සලගෙ ගෙදරට යද්දි රෑ 9 විතර ඇති. වැනි වැනි උනත් ඔලුව කෙලින් තියාගෙන හඳයා කිව්වෙ මැසිමෙ වැඩෙත් දැන්ම ඉවරයක් කොරමු කියලයි. ඔන්න ඉතින් හඳයා ඉස්සාගෙ මැසිමට ෆෙඩෝරා ඉන්ස්ටෝල් කොරන්න පටන් ගත්තා. හඳයාට වැඩේ කොරන්න දීල අනිත් උන් දොයියන්න ගියා. හඳයාත් වැඩේ පිනිෂ් කොරල දොයියගත්තා කියමුකෝ...

පහුවදා උදේ මැසිම ඔන්කොරද්දි නෝ...ඩිස්ප්ලේ...මුකුත්ම නෑ...ෆෙඩෝරා තියා වින්ඩෝස්වත් නෑ.....

ඔන්න දැනුයි හඳයාට තමුන් කොරපු හරිය මීටර් වෙන්න පටන්ගත්තෙ. ඉතිං ආයෙම මැසිම ෆෝමැට් කොරල වින්ඩෝස් දාල ෆෙඩෝරත් දාල මැසිම යථා තත්ත්වයට ගන්න හඳයා මුලු උදය වරුවම කැප කොලා කියලයි ආරංචිය...

සදුදා කැම්පස් එකේදි හඳයාට උනුසුම් ප්‍රතිචාර එහෙම බොහොමයි...

ඒ මගේ මැසිමටත් ෆෙඩෝරා දානවද..... කියල කවුරුහරි අහද්දි හඳයාගෙ ප්‍රතිචාරය උනේ.....

වරෙන්කෝ දාන්න උබේ ********........

Thursday, July 28, 2011

ආයෙමත් ලෙක්චරස්...

අම්මෝ.......... ඇති යාන්තං...........

ඇයි මොකද උනේ........

ඉවරා......යි.....

හෑ.... පටන් ගත්ත ගමන්ම ඉවරද.....

නෑ...නෑ... මේ කැම්පස් ලෙක්චර්ස්ල කරගෙන ආව වෘත්තීය ක්‍රියාමාර්ගය ඉවරයි කියල කිව්වෙ. ඔන්න ඉතිං ආයෙත් ලෙක්චර් පටන් ගත්තා. පසුගිය මැයි 16 වෙනිදා පලවෙනි සෙමෙස්ටරේ වාර අවසාන නිවාඩුව ලබාදුන්නට පස්සෙ ආයෛත් දෙවන සෙමෙස්ටරේ පටන් ගන්න නියමිතව තිබ්බෙ මැයි 29 වෙනිදා. ඒත් ලෙක්චර්ස්ල පඩි වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පටන් ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඒ දිනය දවසෙන් දවස කල් ගිහින් මාස 2කටත් වැඩි නිවාඩුවකින් පස්සෙ ආයෙත් කැම්පස් පටන් ගත්තෙ මේ ජූලි 27 වෙනිදා. මේක තමා වසර 3ක කැම්පස් ජීවිතේ ලැබුන දිගම නිවාඩුව.

පහුගිය දවස්වල කැම්පස් එකේ යාළුවෙක් කතාකරත් අහන්නෙ ඒ බං කවද්ද කැම්පස් පටන් ගන්නෙ... දැං නම් ගෙදර ඉඳල ඇතිවෙලා බං කියල. මටත් පෙරලා අහන්න තිබ්බෙ ඔය ටිකම තමා ඉතිං...

කැම්පස් පටන් ගත්තත් දැනගන්න ලැබුන හැටියට නම් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නවත්තල තියෙන්නෙ තාවකාලිකවයි. තවත් ඉටු නොකල ඉල්ලීම් කිහිපයක් තියෙනවලු. ඒ වගේම අභ්‍යන්තර ගැටළු කිහිපයකුත් ඇතිවෙලා තියෙන බව ආරංචියි. ඉතිං නැවතත් වැඩ වර්ජනයකට යන සූදානමක් තියෙනව කියලත් දැනගන්න ලැබුනා...

මොනව උනත් අපේ ඩිග්‍රිඑක ගන්න දවස නම් දිනෙන් දින කල් යනව කියල පැහැදිලියි. අද රැකියාවකට ඉල්ලුම් කරද්දි තියෙන්නෙ “….උපාධියක් ඇති වෘත්තීය පලපුරුදද්ද සහිත වයස 18 – 24 අතර අයදුම් කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ... “ කියල.

උපාධිය  ගත්තා කියමුකෝ එතකොට වයස.....?????